පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැඩිමියර් පුටින් අතිවිශාල බහුතරයකින් ජයගෙන තිබේ. 75% ක් වූ ඡන්දදායකයන් පුටින්ට සහය දෙන්නේ ඇයි දැයි සලකා බැලීම අප ශ්‍රී ලංකිකයන්ටත් වැදගත් පාඩමක්ය.
පුටින් රුසියාවේ නායකත්වය බාරගන්නා විට සෝවියට් දේශය කඩා වැටී රුසියාව නන්නත්තාර වී තිබුනි. යෙල්ට්සින් ජනාධිපතිවරයා බටහිර රූකඩයක් මෙන්ම එරට ඔලිගාර්ක්වරුන් විසින් අතිවිශාල ලෙස මහජන දේපල කොල්ල කෑ නව ධනපති පන්තියේ ඒජන්තයකු විය. ඇෆ්ගන් යුද්ධයේ පරාජයෙන් සෝවියට් දේශයට වූ කලු පැල්ලම මැකෙන්නත් කලින් චෙච්නියාවේ බෙදුම්වාදී යුද්ධයක් ඇවිලී උඡ්චම මට්ටමට ගොස් තිබුණි. මේ සියල්ලටමත් වඩා ආර්ථිකය කඩා වැටී දෛනික ජීවිතයට අවශ්‍ය පාරිබෝගික භාණ්ඩ පවා උග්‍ර ලෙස හිග වී පැවතුණි.
මෙවන් අභියෝග මැද රුසියාවේ සුක්කානම ගත් පුටින් ආර්ථිකය හරි ගැස්සුවේය. මුලින්ම රාජ්‍ය දේපල කොල්ලකන ඔලිගර්ක්වරුන්ට දඩුවම් කලේය. රුසියානු ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කලේය. දළ දේශීය නිශ්පාදනය තුන් ගුණයකින් වැඩි කලේය. විදේශීය ණය දළ දේශීය නිශ්පාදණයට අනුපාතව 75% කින් අඩු කලේය. උද්ධමනය 36.5% සිට 2.5% අඩු කලේය. සාමාන්‍ය රුසියන් පවුලක ආදායම දස ගුණයකින් වැඩිවිය. මේ සියල්ල අතරම චෙච්නියාවේ ත්‍රස්ථවාදය අවසන් කර නැවතත් රුසියාවට ගිලිහී තිබුණු ලෝක භූ දේශපාලනයේ බලවත් භූමිකාව අත්පත් කර දුන්නේය. සිරියාවේ දී රුසියන් හමුදාවන් රගපාන භූමිකාව මෙයට ප්‍රබලම උදාහරණයකි.
බටහිර බලවේග රුසියාව තුල ඊනියා යහපාලන සංකල්ප මනස්ගත කරන්නට නොගන්නා උත්සාහයක් නොමැත. රුසියාවේ විපක්ශ විරෝධතාත්, යුක්රේනය වැනි රුසියාවට වැදගත් අසල්වැසි රාජ්‍ය තුලත් අස්ථාවර වාතාවරණයක් තැනීමත් සිදුවන්නේ ඔවුන්ගේ ඍජු මැදිහත් වීම මතය. ඒ හැම තැනම බටහිර බලවේග විකුණන්නේ ඒකාධිපතිවාදය සහ යහපාලනයයි. පුටින්ව ඒකාධිපති පාලකයකු බව හංවඩු ගසන්නට විදෙස් මාධ්‍ය දිවා රෑ වෙහෙසෙති. නමුත් පුටින් මේ සියල්ලටම සාර්ථකව මුහුණ දෙන්නේ අන්කවරක් වත් නිසා නොව ජනතාවගේ ශක්තියෙනි. මොකද රුසියන් වැසියාට මනස්ගාත දර්ශණ වලට වඩා රට වැදගත් වන නිසාය.
ඉහත කතාවට සමාන කතාවක් ඔබත් මමත් ජීවත් වන රටේත් සිදුවුනා යැයි ඔබටත් මට මෙන් මතක ඇතැයි සිතමි. නමුත් අපට වැරදුන බව අද හොදටම වට පිට බැලීමෙන්ම වටහාගත හැකිය.
ඉතිහාසය වෙනස් කල නොහැකිය. නමුත් ඉතිහාසයෙන් අප සැම පාඩම් ඉගෙන ගතයුතුව ඇත.
” 2020″… රට ස්ථාවර රුසියාවක් වෙනවා ද අස්ථාවර යුක්රේනයක් වනවා ද යන තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇත. තීරණය ඔබ සතුය. රචකයාට හැක්කේ සත්‍යය ඇති සැටියෙන් පෙන්වීමට පමණි.
– දමිත වික්‍රමසිංහ